පුරාණ විහාරස්ථානයකට පැමිණි යෝගියා
එක් දිනක් රත්නපුර ප්‍රදේශයේ පිහිටි පුරාණ විහාරස්ථානයකට යෝගී භික්ෂුවක් වැඩම කළහ. එම විහාරස්ථානයේ වැඩසිටින නායක ස්වාමීන් වහන්සේ ද මෙම යෝගී භික්ෂුව සමඟ බොහෝ හිතවත්ය. නායක ස්වාමීන් වහන්සේ යනු ධර්මධර, විනයධර, විශේෂයෙන්ම අභිධර්මය පිළිබඳව බොහෝ සෙයින් උගත් ව්‍යුත්පන්න උත්තමයෙකි.
තමන් හමුවීමට ආගන්තුකව වැඩම කළ මේ යෝගී භික්ෂුව නායක ස්වාමීන් වහන්සේ විසින් ඉතාමත් සතුටින් පිළිගත් අතර, උන්වහන්සේට පහසුවෙන් වැඩසිටීම පිණිස ආවාස ගෙයින් විශේෂ කාමරයක් ද පිළියෙල කර දුන්හ. යෝගී භික්ෂුව ද එම කාමරයෙහි වැඩසිටිමින් තමන්ගේ පටිපත්තීන්හි නිරත වූහ.
පසුදින උදෑසන කාලයෙහි, නායක ස්වාමීන් වහන්සේ යෝගී භික්ෂුව වැඩසිටි කාමරයට පැමිණ උන්වහන්සේගෙන් මෙලෙස විමසා සිටියහ:
"හාමුදුරුවනේ, අපි බුදුගුණ භාවනාව වඩන්න ඕනේ කොහොමද?"
එවිට යෝගී භික්ෂුව මෙසේ පිළිතුරු දුන්හ:
"නායක හාමුදුරුවනේ, බුදුගුණ භාවනාව වඩන ක්‍රම කිහිපයක්ම තිබෙනවා. කොළයක් ගන්නකෝ, මම ඒ කොළේ කෙටියෙන් යමක් ලියලා දෙන්නම්."
නායක ස්වාමීන් වහන්සේ විසින් වහාම කොළයක් සහ පෑනක් සොයා ලබා දුන් අතර, යෝගී භික්ෂුව එම කොළයෙහි මෙසේ ලියා තැබූහ:
මාගේ සිත තුළ ලෝභය ඇත. මා සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ සිත ලෝභයෙන් නිදහස්ය. උන්වහන්සේ අරහන් ගුණයෙන් යුක්තය.
මාගේ සිත තුළ ද්වේෂය ඇත. මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ ද්වේෂයෙන් නිදහස්ය. උන්වහන්සේ අරහන්ය.
මාගේ සිත තුළ මෝහය ඇත. මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ මෝහයෙන් නිදහස්ය. උන්වහන්සේ අරහන්ය.
මාගේ සිත තුළ ඉරිසියාව ඇත. මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ ඉරිසියාවෙන් නිදහස්ය. උන්වහන්සේ අරහන්ය.
මාගේ සිත තුළ මානය ඇත. මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ මානයෙන් නිදහස්ය. උන්වහන්සේ අරහන්ය.
මාගේ සිත තුළ ජීවන මදය ඇත. මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ ජීවන මදයෙන් නිදහස්ය. උන්වහන්සේ අරහන්ය.
එම සටහන් ලියා නිමවා, එම කොළයෙහි අවසානයට යෝගී භික්ෂුව විසින් මෙලෙස ද සටහන් තබා තිබුණි:
"නායක හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ හිත තුළ පවතින, ප්‍රහාණය නොකළ කෙලෙස් ඕනෑම එකක් පිළිබඳව මේ විදිහට හිතන්න. 'මාගේ සිත තුළ මේ ක්ලේශය තිබේ, තථාගතයන් වහන්සේගේ හිත තුළ ඒ ක්ලේශය නැත, එබැවින් උන්වහන්සේ අරහන්ය' කියා පුළුවන් සෑම විටම සිහි කරන්න. එවිට බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් නිකෙලෙස් ගුණය පිළිබඳව, අරහන් ගුණය පිළිබඳව සිත තුළ මහා ප්‍රසාදයක් හටගන්නවා."
යෝගී භික්ෂුව තබා ගිය ඒ මඟ පෙන්වන සටහන එපමණකි. එම සටහන පිළිබඳව අනවශ්‍ය ලෙස අගය කිරීමට හෝ වර්ණනා කිරීමට හෝ ඊට වැඩිපුර බාහිර යමක් එකතු කිරීමට ලේඛක වන මා කිසිසේත් උත්සාහ නොකරමි. මන්ද, එසේ කළහොත් එහි ඇති නියම ප්‍රායෝගික වටිනාකම සහ පිරිසිදු ස්වභාවය නැතිවී යන බව මාගේ ඒකාන්ත හැඟීමයි.
තවත් කොටසක් සමගින් නවත හමුවෙමු.
දොලොස්වල උදිතධීර හිමි.