ívbar

මා දුටු භාවනා යෝගියෝ ( හයවන පරිච්ඡේදය )

      සංස්කාර සොයා සංස්කාර ගොඩක

​                             ධර්ම ගවේෂකයෙකුට පටිච්චසමුප්පාදයෙහි සහ පංචඋපාදානස්කන්ධයෙහි සඳහන් වන "සංස්කාර" යන වචනය පිළිබඳව ගවේෂණය කරන්නට විය. ගැඹුරු ත්‍රිපිටක පොත පත පිළිබඳව ඔහුට මුල් කාලයේ දී විශාල දැනුමක් තිබුණේ නැත. ඔහු ධර්මය ඉගෙන ගැනීම කරගෙන ගියේ බණ ඇසීමෙන් සහ ප්‍රශ්න විමසීමෙනි.

​                     දවසක් මෙම ගවේෂකයා එක් ධර්මධර භික්ෂුවකගෙන් සංස්කාර පිළිබඳව විමසීය. උන්වහන්සේ දේශනා කළේ, සංස්කාර යනු මනසිකාරය ප්‍රධාන කරගෙන ඇතිවන්නා වූ චෛතසික පනහක් බවයි. මෙම තරුණයාට ඒ පිළිබඳව එකවරම වැටහුණේ නැත. "මේ චෛතසික පනහ කොහොමද පාඩම් කරගන්නේ, කොහොමද තේරුම් ගන්නේ" යනුවෙන් ඔහුට අදහසක් ඇති විය. එහෙත් ඔහු තම ගවේෂණය අතරමඟ නතර කළේ නැත.

​                         තවත් දිනක් ඔහු වෙනත් භික්ෂුවකගෙන් ද මෙම ප්‍රශ්නයම විමසීය. උන්වහන්සේ බුද්ධ දේශනාවේ එන "ඡ ඉමේ භික්ඛවේ චේතනාකායා" යන පාඨය සිහිපත් කරමින්, සංස්කාර යනු චේතනා හෙවත් සිතුවිලි හයක් බව සඳහන් කළහ. එනම්:

​රූප ගැන ඇතිවන චේතනා

​ශබ්ද ගැන ඇතිවන චේතනා

​ගඳ සුවඳ (ගන්ධ) ගැන ඇතිවන චේතනා

​රස ගැන ඇතිවන චේතනා

​ස්පර්ශය (පොට්ඨබ්බ) ගැන ඇතිවන චේතනා

​සිතුවිලි (ධම්ම) ගැන ඇතිවන චේතනා

​               යනුවෙන් උන්වහන්සේ පැහැදිලි කර දුන්හ. උන්වහන්සේ ලබා දුන් ඒ පිළිතුර සූත්‍ර පිටකයට අනුව ඉතාමත් නිවැරදිය. උන්වහන්සේ තවදුරටත් මෙසේ ප්‍රකාශ කළහ:

​                   "මහත්මයා, පටිච්චසමුප්පාදයේ සංස්කාර කියලා කියන්නේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර යන තුනටයි. මෙම සංස්කාර තුන අපි තේරුම් ගන්නට ඕනේ මජ්ඣිම නිකායේ චූලවේදල්ල සූත්‍රයට අනුවයි. එහි කාය සංස්කාර යනු ආශ්වාස ප්‍රශ්වාසයයි; එය කය හා බැඳී පවතින නිසා කාය සංස්කාර නම් වෙයි. විතක්ක විචාර වචී සංස්කාරයි. සංඥා සහ වේදනා චිත්ත සංස්කාරයි."

​                    යනුවෙන් උන්වහන්සේ පටිච්චසමුප්පාදයේ සංස්කාර විස්තර කළහ. ධර්ම ගවේෂකයා එය ඉතා සතුටින් හා ගෞරවයෙන් පිළිගත්තේය.

                        ​එහෙත්, පසුව හැදෑරීමේදී වැටහුණේ එම දේශකයා ලබා දී ඇති අවසාන පිළිතුර (පටිච්චසමුප්පාදයට ගැලපීමේදී) ව්‍යාකූල සහගත බවයි. මන්ද, චූලවේදල්ල සූත්‍රයේ සඳහන් වන්නේ භාවනා කරන යෝගියෙකුට ධ්‍යාන හා නිරෝධ සමාපත්තීන්ට සමවැදීමට අදාළ වන සංස්කාරයන් පිළිබඳවය. එම ආශ්වාස ප්‍රශ්වාස ආදී සංස්කාර රහතන් වහන්සේලාට ද පවතියි. එයින් පැහැදිලි වන්නේ එහි උගන්වන සංස්කාර රහතන් වහන්සේලාටත් ඇති බැවින්, ඒවා අවිද්‍යාව මුල් වී සසර දික් කරන "පටිච්චසමුප්පාදයේ සංස්කාර" නොවන බවයි.

                  ​ධර්ම ගවේෂකයා තවදුරටත් තම ගවේෂණය කරගෙන ගියේය. ඒ අතරතුර ඔහුට අතිපූජනීය රේණුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විසින් ලියන ලද පටිච්චසමුප්පාදය පිළිබඳ ග්‍රන්ථය කියවන්නට ලැබුණි. එම උතුම් ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් ඔහු තමන්ගේ අවුල සම්පූර්ණයෙන්ම ලිහා ගත්තේය.

​එම ග්‍රන්ථය තුළින් ඔහු පහත කරුණු මනාව තේරුම් ගත්තේය:

​කාය සංස්කාර යනු කය මුල් වී සිදුවන කුසල සහ අකුසල කර්මයන්ය.

​වචී සංස්කාර යනු වචනය මුල් වී සිදුවන, රැස්වන කුසල සහ අකුසල කර්මයන්ය.

​චිත්ත සංස්කාර යනු සිත හෙවත් මනස මුල් වී ඇතිවන කුසල සහ අකුසල කර්මයන්ය.

​                          මේ අනුව පංචඋපාදානස්කන්ධයේ සංස්කාර ද කර්මයම බව ඔහු වටහා ගත්තේය. පෙර දේශනාවල සඳහන් වූ චේතනා සමූහ හය යන නමින් ද, චෛතසික පනහක් යන නමින් ද හඳුන්වා දී ඇත්තේ මේ කර්මයම බව ගවේෂකයා නිවැරදිව තේරුම් ගත්තේය.

                              ​අප විසින් ගරු කරනු ලබන යම් ගුරුවරයෙකු හෝ කල්‍යාණ මිත්‍රයෙකු යැයි සලකනු ලබන කෙනෙකු හෝ යමක් ප්‍රකාශ කළ පළියෙන්ම එය ඒ අයුරින්ම නොපිළිගත යුතුය. එසේ ක්ෂණිකව පිළිගැනීම තුළින් අප මහත් වරදකට හා මුලාවකට හසුවන්නට ඉඩ තිබේ. යමෙකු විසින් කියන ලද දෙයක් වහා පිළිගන්නේ ද නැතිව, ප්‍රතික්ෂේප කරන්නේ ද නැතිව, ත්‍රිපිටකයට සහ අටුවාවට අනුව සසඳා බලා ඒ දෙය වැරදිද නිවැරදිද කියා සොයා බැලීම ඉතා වටී. එවිට සැබෑ වූ නිවැරදි ධර්ම ඥානයක් ඇති කරගත හැකිය.


                      තවත් කොටසක් සමගින් නවත හමුවෙමු.


                                                                                                     දොලොස්වල උදිතධීර හිමි.

video

කලවානේ සංගාමජි හිමි
දේශනාව ලෝඩ් වෙමින්...
විස්තරය ලෝඩ් වෙමින්...
දොලොස්වල උදිතධීර හිමි
දේශනාව ලෝඩ් වෙමින්...
විස්තරය ලෝඩ් වෙමින්...
මීපාගම සංඝරතන හිමි
දේශනාව ලෝඩ් වෙමින්...
විස්තරය ලෝඩ් වෙමින්...

මා දුටු භාවනා යෝගියෝ ( හත්වන පරිච්ඡේදය )

  වනගත භික්ෂුව සමඟ වාදයක් ​                                        ධර්ම ගවේෂකයෙකු තමාගේ හිතමිතුරන් තිදෙනෙකු ද සමඟ වනය වෙත පියමන් කළේ වනගත භි...